Friday, May 1, 2020

දකුණේ අධ්‍යාපන නැම්මේ අයිතිකාරයෝ.........


ප්‍රස්ථාරයක නැම්මක් කිව්වොත් එය ඉහලට විය හැකිය . ඒ වගේම පහලට විය හැකිය . ඉහලට නැවෙන විට  එය ජයග්‍රහණයකි. පියවරු දහසකි . පහලට නැවෙන විට එය පරාජයකි. එයට උප්පැන්නය දීමට පියෙක් සොයාගත නොහැකිය. එනම් අවජාතකය . නමුත් එහි සැබෑ හිමිකරුවා තම පිතෘත්වය ලොවට හෙළි වේ  යයි බියෙන් කාටත් පළමුව තව කෙනෙකුගේ පිට පරාජයේ පිතෘත්වය පැටවීම ලංකික සමාජයේ දුර්ලභයක් නොවේ.


 මා මෙවැන්නක් ලිවීමට හේතුවුයේ ලාංකීය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් නිවැරැදි දේශපාලන හා පරිපාලන නායකත්වයක් යටතේ නිසි සැලසුම් සහගත වැඩපිළිවලක් මගින් මගේ මවුබිම සංවර්ධනයේ ඉහලම ඉනිපෙත්තටම ගෙනයා  හැකි බව ඇස්කනාපිටම ප්‍රත්‍යක්‍ෂ කල දකුණේ අධ්‍යාපන සංවර්ධනය නම් වූ සුවිශේෂී ක්‍රියාවලිය  මේ වන විට ආපසු හැරී ගමන් කරන්නට උත්සහ කරන සෝචනීය  බවක් සිතට දැනීමත්, ඒ සදහා හේතුවු සාදක කවරේද යන්න විමසා බැලිමත්ය. එමෙන්ම එම අවගමනයේ සැබෑ පීතෘත්වය සොයා ගැනීමය. 
  
වසර  දහතුනක් පමණ වූ කාලයක් දකුණු පළාත් අධ්‍යාපන ආයතනයන්හි සේවය කරමින් පළාතේ අධ්‍යාපනය ඉහලටම ඔසවා තැබීමට දායක වූ  දේශපාලන හා පරිපාලන නිලධාරීන් විසින් සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරිමේදී එම කටයුතු වලදී සංවේදීව ඔවුන් හා එම ක්‍රියාවලියට එක් වූ සාමාන්‍ය මට්ටමේ කළමනාකරණ සේවා නිලධාරියෙකු  වූ මා හට මෙතරම් කම්පනයක් දැනේ නම් ජයග්‍රහණයේ සැබෑ පියවරුන් හා මවුවරුන්ට ඇතිකරන ලද  සිත් වේදනාවන් සිතාගත නොහැක. ඔවුන් වෙනුවෙන්  ඒ කතාන්දරය මා මෙසේ සටහන් තබමි.

2007 වසරේදී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  සැලසුම් අංශයේ  කළමනාකරණ සහකාර නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වන මා හට පැවරුණු ප්‍රධාන රාජකාරියක් වුයේ විභාග ප්‍රතිපල විශ්ලේෂණයන් සකස්කිරීමයි. එවකට සැලසුම් අධ්‍යක්‍ෂතුමිය වූ චාන්දනී උඩුකුඹුර මහත්මියයි. එතුමිය මට ඒ සදහා අවශ්‍ය මගපෙන්වීම හා උපදෙස් ලබා දුන්නා. පාසල් , කලාප හා පළාත් මට්ටමින් සමස්ථ ප්‍රතිපල හා විෂය ප්‍රතිපල විශ්ලේෂණය කරමින් ප්‍රස්ථාර , වගු යොදාගනිමින් ඉතා හොද මට්ටමේ විශ්ලේෂණයක් නිර්මාණය කිරීමට එවකට සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සැලසුම් අංශයේ සේවය කල  (වත්මන් නාලන්දා විදුහල්පති) තිලක් වත්තුහේවා මහතාගේ මගපෙන්වීම යටතේ මා හට හැකි විය.  ඒ ප්‍රතිපල විශ්ලේෂණය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එවකට සිටී ඉහලම නිලධාරීන්ට ලබා දීමට කටයුතු යෙදුවා. එම විශ්ලේෂණය මගින් අධ්‍යාපන ප්‍රතිපල වල බිද වැටීම ,  සිසුන් අසමත්වීම ආදිය පිලිබදව පැහැදිලිව පෙන්නුම් කර තිබුනා. නමුත් එවකට ඉහල බලධාරීන් විසින් මේ සදහා කිසිදු සංවාදයක් හෝ සිදුකරනු දක්නට ලැබුනේ නැහැ. අපි මෙච්චර මහන්සිවෙලා මේ වගේ විශ්ලේෂණයක් කලත් එයින් පෙන්නුම් කරන ගැටළු සදහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් නොගන්නා  බව පෙනිගියා. එබැවින් අප යම් කලකිරීමකට පත්වුණා. ඒ වගේම ගුරු හිගය , ගුරු ස්ථානමාරු ආදිය සදහා පැහැදිලි විසදුමක් දකින්න ලැබුනේ නැහැ. ප්‍රබල දේශපාලන බලපෑම් සැම කටයුත්තටම වගේ අත පොවලා  තිබුනා. ගුරුමරුවක් හදාගන්න නම් දේශපාලන නියෝජිතයෙක් හරහා පැමිණිය යුතුයි යන මතය ප්‍රබලව පැවතුනා.ඉහල නිලධාරීන්ට එම දේශපාලන නියෝජිතයන්ගේ අවශ්‍යතා ඉටුකිරීමේදී සිසු දරුවන්ගේ අවශ්‍යතාවන් ගැන කල්පනා කරන්න අවස්ථාවක්  නැතිබව පෙනී ගියා. 
    
මේ ආකාරයට කාලය ගෙවී ගියා. 2010 වසරේ චන්දිමා රාසපුත්‍ර මහතා දකුණු පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වෙලා ආවා. ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයෙකු බවත් පරිගණක ක්‍ෂේත්‍රයේ විද්වතෙකු බව අහල තිබුනා . ජන්ද පොස්ටරකින් හැර ඔහුව දැක තිබුනේ නැහැ. එතුමා වැඩ බාරගෙන සතියක් දෙකක් යනවිට වෙනස් ආකාරයේ ඇමතිවරයෙකු බවට නිලධාරීන් අතරේ කතා බහක් ඇති උනා. 

එක් දිනක් තිලක් වත්තුහේවා මහතාට එතුමා කියල තිබුනා පරිගණක දැනුම ඇති නිලධාරියෙකුව සමග පැමිණෙන්න කියලා . තිලක් මහතා සමග මා එතුමා හමුවෙන්න ගියා. එතුමා පැවසුවා “මට මේ ගුරුවරුන්ගේ ප්‍රශ්න විසදන්න ඕන, මම හැම ගුරුවරයෙකුගේම දත්ත පත්‍රිකාවක් ගෙන්වා ගත්තා , මට මේ සියල්ල ඉතා ඉක්මණින් පරිගණක ගත කරලා දත්ත පද්දතියක් හදාගන්න ඕන. කොහොමද මේක ඔයා මේක කරන්නේ “ කියල විමසුවා. මේ සදහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවනම් දින 5 කින් ගුරුවරු 30000 කගේ පමණ තොරතුරු පද්ධතිය ගොඩ නැගිය හැකිබව මා පැවසුවා . ඒ අවස්ථාවේම අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියල අදාල නිලධාරීන්ට නියෝග දුන්නා. කලාප අධ්‍යාපන කාර්යාල , කොට්ටාස අධ්‍යාපන කාර්යාල වල සේවය කරන ලද සහෝදර නිලධාරීන් පිරිසකගේ සහයෝගයෙන් දින 4 කදී අදාල කාර්යය අවසන් කරා.මේ කාර්යය සදහා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් කිහිප දෙනෙක් එක්වුණා. මේ වනවිට පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ දුරයට කිත්සිරි ලියනගමගේ මහතා පත්වෙලා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නව ජිවයක් යටතේ ගමනක්  ආරම්භ කරන ලද වකවානුවයි. 

දත්ත පද්දතිය සකස්කර වහාම ඇමතිතුමා විසින් මගෙන් ඉල්ලා සිටියේ එක් එක්  ගුරුවරයාගේ නිවසේ සිට සේවය කරනු ලබන පාසැල දක්වා ඇති දුර පිලිබදව වාර්තාවක් මුද්‍රණය කර දෙන ලෙසයි. මම එම වාර්තාව එතුමාට  ලබා දුන් අතර එතුමා විසින් පේලියෙන් පේලිය නිරීක්ෂණය කරමින් සටහන් තැබුවා . “ සමහර ගුරුවරුනට තම පාසලට යන්න පැය  දෙක තුනක් යනවා. සමහර විට ඊටත් වඩා, එහෙම ගිහින් කොහොමද දරුවන්ට උගන්වන්නේ , ඵලදායිතාවය ඉතාම අඩුයි, මීට වැඩ හොදයි එම ගුරුවරු වැඩට නොගිහින් ඉන්නවා නම් ,මේ ක්‍රමයෙන් ගුරුවරුත් ලොකු පීඩාවකට පත්වෙනවා. සිසුන්ට සාධාරණයක් ඉටු වෙන්නෙත් නෑ. මේ සිස්ටම් ඒක වෙනස් කරන්න ඕන” ඇමතිතුමා පැවසුවා.

ඒ අවස්ථාවේ ඇත්තටම මට හිතුනා මෙතුමා සම්ප්‍රදායික කයිවාරු දේශපාලන චරිතයක් නොවන බව . යම් තර්කානුකුල හා  විද්‍යාත්මක ආකාරයෙන් ගැටළු හදුනාගෙන ඒ සදහා විසදුම් ලබාදෙන පරමාදර්ශී චරිතයක් බව. මෙතුමා විසින් යම් සාධනීය වෙනසක් පළාත් අධ්‍යාපන පද්ධතියේ සිදුකරනු ඇතැයි දැඩි විශ්වාසයක් මා තුල ඇතිවුනා. ඒවගේම ඒ සදහා උපරිම කැපවීමක් හා සහයෝගයක් මාගේ පෞද්ගලික කාලය ද කැපකර ලබාදිය යුතු බවට අදිටන් කර ගනු ලැබුවා .

පසුගිය විභාග දත්ත විශ්ලේෂණය කර ඒ අනුව වාර්තාවක් පිලියල කරන මෙන් ඇමතිතුමා මා වෙත පැවරුවා . එය කලාප , කොට්ටාස හා පාසල් මට්ටම දක්වා විහිදුනු විශ්ලේෂණයක් . එතුමා සමහර පාසල්වල විභාග ප්‍රතිපල දැක ඒ සම්බන්දව ඉතා සංවේදීව කතාකරනු මා දුටුවා . අසාමාන්‍ය ලෙස විභාග ප්‍රතිපල අඩුවී ඇති පාසල් වල තත්වය තවදුරටත් සොයා  මෙතුමා එම පාසල්වල උග්‍ර ගුරු ඌනතාවයක් ඇතිබව හදුනාගත්තා . ඒ අනුව මා සමග එක්වී විභාගප්‍රතිපල හා ගුරුවරුන්ගේ ව්‍යාප්තිය භූගෝලීය වශයෙන් විශ්ලේෂණය කරනු ලැබුවා. පසුගිය වසර කිහිපයක විභාග ප්‍රතිපල විශ්ලේෂණයේදී හදුනාගත්තේ හම්බන්තොට , දෙනියාය, උඩුගම හා ඇල්පිටිය අඛණ්ඩව අධ්‍යාපනයේ යම් පසුබෑමක් පෙන්නුම් කරන බව.








මේ ආකාරයේ විෂම වූ ප්‍රතිපලයක් ලැබීමට හේතුව කුමක්දැයි සොයාබලන්න තවත් විශ්ලේෂණයක් සිදුකරා . ඒ තමයි ගුරුවරුන් කලාප මට්ටමින් විසිර සිටින ආකාරය .


























මේ ආකාරයට කරනලද විශ්ලේෂණය මගින් දකුණු පළාතේ අධ්‍යාපන ප්‍රතිපල වල විෂමතාවයට හේතු වූ ප්‍රධාන සාධකය ගුරු ඌනතාවය බව රාසපුත්‍ර මහතා තේරුම් ගත්තා.


























හම්බන්තොට , දෙනියාය , උඩුගම හා ඇල්පිටිය යන යටිතල පහසුකම්අවම අධ්‍යාපන කලාපයන්හි දරුවන් විභාගය අසමත්වන්නේ එම දරුවන්ගේ වරදින් නොවන බවත් ඒ සදහා වගකිය යුත්තේ සම්පත් විෂමව බෙදන පරිපාලනය ක්‍රමවේදය බවත් එය තමා වහාම නිවැරදි කරන බවත් නිතරම පැවසුවා.


ඒ අනුව වහාම ගුරුමාරු සියල්ල තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරා. ගුරුමාරු අත්හිටවූ එතුමා වහාම කලාප අධ්‍යක්‍ෂ වරුන් හරහා ගුරුවරුන්ගේ සේවාකාලය හා පදිංචිය වැනි තොරතුරු ගෙන්වාගෙන ගුරුවරුන් හට අවම අපහසුතාවයක් සිදුවන පරිදි දුෂ්කර පාසල් වෙත ගුරුවරුන් ලබා දීමට ගුරුතුලනය නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවා.



මෙම සාධනීය වැඩපිලිවල ක්‍රියාවට නැංවීමත්  සමග දකුණු පළාත් දේශපාලන තුල විශාල කැලබිමක් ඇති උනා. එයට හේතුව වුයේ ඇතැම් දේශපාලකයින් විසින් තම ජන්දව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සදහා ගුරුමාරු  භාවිතා කිරීමට නොහැකිවීම නිසා යයි රාවයක් පැතිරුනා. මෙම ගුරු තුලන වැඩසටහන මගින් දැඩි දේශපාලන හානියක් සිදුවන බවත් ඇමතිවරයාට එරහිව විශ්වාස භංගයක් ගෙන එන බවත් තම පක්ෂයේම සහෝදර මන්ත්‍රී වරුන්ගේ තර්ජනයට ද ලක්වීමට සිදු උනා.

මෙම බැරෑරුම් අවස්ථාවේ රාසපුත්‍ර මහතා දැඩි තීරණයක් ගත්තා. ඒ තමයි මේ වැඩපිලිවල ගැන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ව දැනුවත් කරන්න. එතුමාගෙන් අහන්න මේක කරන්න ද ? එපාද ? කියන එක. අපිටත් හරිම ගැටලුවක් තිබුනා මේ වැඩපිලිවල අතරමග කඩන් වැටේවිද කියල. ඇමතිතුමා තිලක් වත්තුහේවා මහතා සහ කිත්සිරි ලියනගම මහතා සමග එකතු වෙලා ගුරුතුලනය පිලිබදව වාර්තාවක් හදලා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කලා. වැඩසටහන දැකපු ජනාධිපතිතුමා විසින් "මේවා තමයි කෙරෙන්න ඕන , බය නැතිව ඔයා මේක කරගෙන යන්න . ප්‍රශ්නයක් අවොත් මම බලාගන්නම් " කියල පවසලා තියනවා. මේ උත්තරෙත් අරන් ඇමතිතුමා බොහොම සතුටින් ආවා. ඒ දවස්වල  පළාත් අධ්‍යක්‍ෂ කිත්සිරි මහතා , සහකාර අධ්‍යක්‍ෂ තිලක් මහතා ,ගුරුමාරු විෂය කරපු චාමර මහතා සහ එක් එක් අධ්‍යාපන කලාප වල අධ්‍යක්‍ෂවරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිව්වන මහලේ රාත්‍රී 12 පහු වෙනකම් විශාල ප්‍රමාණයේ සිතියමක පාට පාට pin ගහමින් ගුරැ තුලනය කරනවා.

මාරු කරන හැම ගුරුවරයෙකුටම පාහේ ඇමතිතුමා දුරකතනයෙන් කතා කරලා දරුවන් ගැන හිතල කෙටි කලක් අදාල පාසලට ගොස් උගන්වන්න යන ඉල්ලීම කරනු ලැබුවා. බොහෝ ගුරවරුන් මවිතයට පත්වුණා ඇමතිවරයා කතා කරනවා කිව්වම. ඇතැමුන් විශ්වාස කලෙත් නෑ. අවසානයේ ගුරුතුලනය වැඩසටහන ඉතා සාර්ථක උනා.මෙහිදී සිදු කරනු ලැබුවේ අධික ගුරු අතිරික්තයක් ඇති මාතර හා ගාල්ල කලාප වලින් ගුරුවරුන් රැගෙන ගුරු ඌනතාවයන් ඇති දෙනියාය උඩුගම වැනි දුෂ්කර කලාප සදහා යොමු කිරීම නොවේ. එසේ කලා නම් අදාල ගුරුවරුන් ඉතා අපහසුතාවයට පත්වෙනවා . බොහෝ විට එම අතිරික්ත ගුරුවරුන් වසර ගණනක් දුෂ්කර සේවයේ නිරත වි සිටී අයයි. එබැවින් රාසපුත්‍ර මහතා විසින් යෝජනා කලේ දෙනියාය කලාපයේ එක් ගුරු අවශ්‍යතාවයක් පිරවීම සදහා මාතර කලාපයේ ගුරුවරෙකු ගෙන ඔහු අකුරැස්ස කලාපය වෙත යොමු කිරීමත් අකුරැස්ස කලාපයේ ගුරුවරයෙකු පිටබැද්දර ප්‍රදේශයේ පාසලකටත් පිටබැද්දර ගුරුවරයෙකු දෙනියාය පාසැල වෙත යොමුකිරීමයි. මෙහිදී එක් ගුරු අවශ්‍යතාවයක් වෙනුවෙන් මාරුවීම් කිහිපයක් සිදුකලේ එක් ගුරවරයෙකු දැඩි අපහසුතාවයකට පත් නොකර දරුවන් සදහා වූ ගුරු අවශ්‍යතාවය ගුරුවරුන් කිහිප දෙනෙකු විසින් අවම අපහසුතාවයෙන් සපුරාලීමයි. මෙම ක්‍රමය එකල ගුරුතුලනයේ රැලි ක්‍රමයේ මාරුවීම යනුවෙන් ද හැදින්වුනා.


නමුත් ඇමතිතුමා තේරුම් ගත්තා මේ ගුරු ගැටළුව එනම් දුෂ්කර සේවය මේ ආකාරයට පමණක් විසදිය නොහැකි බව. එතුමා පැවසුවේ දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට විශ්ව විද්‍යාල සිසුන් බදවා ගන්නා ආකාරයට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගුරුවරු බදවාගැනීම (උපාධිධාරීන්) සාර්ථක විසදුමක් බව. තරග විභාගයක් සමත්ව නගරාශ්‍රිතව සිට පැමිණෙන ගුරුවරයා ඉතා කෙටි කලකින් දුෂ්කර ප්‍රදේශය හැරදා යන බවත් එබැවින් දුෂ්කර ප්‍රදේශයේ ගුරු ඌන තාවය වැඩිවන බවත් නාගරික ප්‍රදේශයේ ගුරු අතිරික්තය වැඩිවන බවත් තේරුම් ගොස් තිබුනා. නමුත් තම ප්‍රදේශයේ පුරප්පාඩු සදහා එම ප්‍රදේශ වලින් ගුරුවරුන් බදවාගත්විට ඔවුන් එම ප්‍රදේශයේම සේවය කරන බැවින් දුෂ්කරතාවයෙන් තොරව , තෘප්තිමත්ව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙක් ඔවුන්ගේ උපරිම ශක්තිය හා දායකත්වය ලබාගත හැකි බව රාසපුත්‍ර මහතා නිතරම පැවසුවා.

ඒ අනුව බදවාගැනීමේ ප්‍රතිපත්තිය කොට්ටාස මට්ටම බවට වෙනස් කලා. උපාධිධාරීන් ප්‍රමාණවත් නොවූ ඉංග්‍රීසි , දෙමල විෂයන් සදහා ගුරුවරුන් බදවා  ගන්න එවකට නියෝජ්‍ය ලේකම් ලෙස සේවය කල අරියවංශ මහතාට , අදාල විශ්ව විද්‍යාල වෙත ගොස් උපකුලපතිවරුන් මුණගැසෙන ලෙස පවා උපදෙස් ලබා දුන්නා. එම විෂයන් සදහා සුදුසු කම් ලත් උපාධිධාරීන්ගේ නම්, ලිපින, දුරකථන අංක රැගෙන එම උපාධිධාරීන් අමතා දකුණු පළාතේ ගුරුසේවයට එක්වන මෙන් ඉල්ලීම් කරන්නද මෙතුමා කටයුතු කරා. ඒ අනුව කෙමෙන් කෙමෙන් දුෂ්කර ප්‍රදේශවල පාසල් සදහා ගුරුවරුන් ලැබෙන්නට උනා. අමාත්‍යවරයා  දිනක් මා හා පැවසුයේ පාසලට අදාල ගුරුවරයා ලබා දීමෙන් සිසුන්තුල ඇතිවන ධනාත්මක ආකල්පය  හේතුවෙන්ම අසමත්වීමට සිටී  සිසුන්ගෙන්  සැලකිය යුතු පිරිසක් සමත් කල හැකිබවයි.

පද්ධතිය තුලසිටින ගුරුවරුන් උත්පෙරණයට ලක් නොකර පළාතේ අධ්‍යාපනය ඉහල නැංවීම අපහසුබව එතුමා මනාව වටහාගෙන තිබුනා . ඒසදහා ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගිය යුතුබව පැවසූ රාසපුත්‍ර මහතා තමාට සියළුම ගුරුවරුන් සදහා කථාකිරිමට අවස්ථාවක් සලසන මෙන් පළාත් අධ්‍යාපන ලේකම් හා අධ්‍යක්‍ෂ තුමාගෙන් ඉල්ලා සිටියා.ඒ අනුව අධ්‍යාපන කොට්ටාස මට්ටමින් රැස්වීම 60 වැඩි ප්‍රමාණයකින් දකුණේ සියළුම ගුරුවරුන් අමතන්න කටයුතු සැලසුම් කලා. එතුමා ඒ අවස්ථාවේ මා හට උපදෙස් දුන්නේ ගුරුවරුන් හට ලබාදීමට අවශ්‍ය පණිවිඩය Presentation   එකක් සකස් කරන ලෙසයි. ඒ අනුව දකුණේ අධ්‍යාපනයේ දැනට පවතින තත්වය හා එයට හේතුව විද්‍යාත්මකව පැහැදිලි කරමින් ඉදිරියේදී අප ලග විය යුතු මට්ටමත් ඒ සදහා අපේක්‍ෂිත වැඩපිළිවල පිලිබදව ප්‍රකාශයට පත් කළා. මේ සදහා සහයෝගය ලබාදෙන ලෙසත් දකුණේ අධ්‍යාපනය ලංකාවේ ඉහලටම ගෙන ඒමට ලබාදෙන දායත්වය වෙනුවෙන් සුවිශේෂ වරප්‍රසාද ලබාදෙන බවත් විසිපන්දහසකට අධික වූ ගුරුභවතුන් ඉදිරියේ පොරොන්දු උනා. එහෙත් සාම්ප්‍රදායික දේශපාලකයන්ගේ පොරොන්දු වලින් හෙම්බත්ව සිටී ගුරුවභතුන් අතර එය නොපිළිගත් කොටසක්ද  උනා. විවිධ මාධ්‍ය උපයෝගී කරගනිමින් දේශපාලන හා වෘත්තීය සමිති වල කොටස් මේ වැඩපිළිවලට විශාල ලෙස පහර දුන්නා.

එවකට ගුරුවරුන් සදහා තිබු විශාලම ගැටළුවක් වුයේ හිග වැටුප් ලබා ගැනීමයි. අතිවිශාල මුදලක් වූ එම හිග වැටුප් ලබාගැනීම එකල ගුරුවරුගේ සිහිනයක්ම වී තිබුනා. හැටකට අධික වූ ඉහත රැස්වීම් සියල්ලහිදිම ඇමතිතුමා විසින් හිග වැටුප් ලබාදීම සදහා කටයුතු කරනබව පැවසීමත් සමග ශාලාව දෙදුරුම්කන  ප්‍රමාණයේ අත්පොලසන් නාදයක් ඇසෙන්නට උනා. එමගින් මට තේරුම් ගියා ගුරුවරුන් කොපමණ බලාපොරොත්තුවක් මේ කෙරහි තබාගෙන ඉන්නවද යන්න. රාසපුත්‍ර මහතා එම වසරේ ගුරු දිනය දා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙන්න ගියේ අදාල හිග වැටුප් ලබාගැනීම සදහා වූ යෝජනාව ඉදිරිපත් කිරීමටයි. ජනාධිපති තුමා පවසා තිබුනේ "මේ පාර බජට් එකට දාන්නම් , භාණ්ඩාගාර ලේකම්තුමාට යෝජනාව භාර දෙන්න " යනුවෙනි. එම වසරේ අයවැය ලේඛනයට ඇතුළත්වූ එම යෝජනාව නිසා දකුණේ නොව මුළු ලංකාවේම ගුරුභවතුන්ගේ දැවුණු ගැටලුවකට විසදුම් ලැබුනා.

ගුරුවරුන්ගේ මාරුවීම් සදහා කෙතරම් ක්‍රමවේද තිබුනද ඒවා ප්‍රයෝගිකව ගැටලුකාරී උනා. ගුරුමාරු ප්‍රතිපත්තිය, මාරු මණ්ඩල , අනුප්‍රාප්තිකයා , සිසුන් සදහා ගුරුභවතා ... ආදී සියළු කඩුලු පැන්නත් ඊට පෙර කවුරු හෝ දේශපාලන නියෝජිතයෙකුගේ සහයෝගය ප්‍රධාන සාධකයක් උනා. මෙම අසාර්ථක ක්‍රමවේද වලින් පිඩාවිදි ගුරුභවතුන්ගෙන් සතියේ සැම බදාදා දිනයකම අධ්‍යාපනයට අදාල ඉහල නිලධාරීන්ගේ කාර්යාල පිරි ඉතිරී ගොස් තිබුනා.දේශපාලන නියෝජිතයන් ගේ සහාය ලබාගන්න පුරුදුවී සිටියා. මෙම ගුරුමාරු අපේක්‍ෂිත ගුරුභවතුන්ගේ අපේක්‍ෂාවන් ඉටුකිරීමට රාසපුත්‍ර මහතා විසින් "ගුරුමාරු ජංගම සේවාව"  යනුවෙන් වැඩසටහනක් සකස්කලා. ගුරුමාරු ඉල්ලුම් කරන ලද සැම ගුරුවරයෙකු සදහාම පිටුවක් බැගින් වූ පොතක් සකස් කිරීමට අපට උපදෙස් දුන්නා. අදාල විෂයභාරව සිටී චාමර මහතා සමග එක්වී සැදු එම වාර්තා පොත පිටු දහස් ගණනක කිලෝගණනක් බර එකක් උනා. ඒ වාර්තාවේ  හැම ගුරුවරයෙකුගේම විස්තරය හා එම පාසලේ ගුරුවරුන් සිටීන ප්‍රමාණයන් , සිසුන් ප්‍රමාණයන් වෙන වෙනම දක්වා තිබුනා. ජංගම සේවය මගින් අදාල ගුරුවරයාට මාරුවීම් ලබාදීමට තීරණය කිරීම සදහා එහි දත්ත ප්‍රමාණවත් උනා. එමෙන්ම ජංගම සේවාව මගින් මාරුවීම ඉල්ලුම් කල සියළුම ගුරුවරුන් සදහා එය ලබාදෙන දිනය ලිපියක් මගින් ලබා දෙනු ලැබුවා. මේ වැඩසටහන නිසා සතිපතා අධ්‍යාපන කාර්යාලවල තම ස්ථානමාරුවිම සදහා දුක් අදෝනා සමග එන ගුරුභවතුන් සදහා විශාල සහනයක් උනා. ඔවුන් තමාගේ ස්ථානමාරුව ලැබෙන දිනය නිශ්චිතව දැනගෙන තෘප්තිමත්ව තම කාලය පාසල් දරුවන් වෙනුවෙන් යෙදවීමට කටයුතු සිදුකලා. ස්ථානමාරු ලබාදීමේ පිලිවල අනුව ඉදිරි  බදවා ගැනීමේ ක්‍රමවේදය සකස්කර ගනිමින් සිසුදරුවන් සදහා හානියක් නොවන පරිදි ගුරුගැටළු විසදීමට මෙය මහත් පිටුවහලක් උනා. මෙම වැඩසටහන ක්‍රියාත්මකවීමත් සමග ගුරුමරුවීම් ඉල්ලගෙන සතියේ සැම බදාදා දිනයකම අධ්‍යාපන අමත්‍යංශය හා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සිය ගණනක් වූ ගුරුභවතුන් සංඛ්‍යාව අතේ ඇගිලි තරමටම සිමා වුනා. මේ වැඩසටහන නිසා බොහෝ කාලයක් විසදීමට නොහැකි වූ ප්‍රධානම ගුරු ගැටළුවක් සදහා විසදුම් ලබාදෙන්න රාසපුත්‍ර මහතාට හැකි උනා.

සිසු දරුවන්ගේ විභාගප්‍රතිපල ඉහල දැමීම සදහා ගුරුවරුන්ගේ කැපවීම වැඩිකරලීම සදහා එතුමා නව උපක්‍රමයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කලා. එනම් ඉහල ප්‍රතිපල ලබාදෙන ගුරුවරුන් ඇගයීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කලා. ඒ අනුව කලාප මට්ටමින් විෂය මට්ටමින් ඉහලම ප්‍රතිපල ලබාදෙන ගුරුවරුන් තෝරා විදේශ සංචාර ලබාදීමට කටයුතු කලා. එම තෝරා ගැනීම් බොහොම විනිවිද ආකාරයෙන් සිදුකරනු ලැබුවා. තිස්සමහාරාම, තවලම , නෙළුව , ඇල්පිටිය , උඩුගම ආදී දුෂ්කර ප්‍රදේශවල ගුරුවරුන්ට පවා මේ අවස්ථාවන් ලැබුනා. මෙම අවස්ථාවන් තමාටද ලබාගත හැකි බව අවබෝධ කරගත් බොහෝ ගුරුවරුන් තම පෞද්ගලික කාලය ද කැපකරමින් තමාගේ සිසුන්ගේ විභාග ප්‍රතිපල ප්‍රවර්ධනය සදහා කටයුතු කරනු ලැබුවා. ඇතැම් ගුරුවරුන් උදේ 6.00 සිට පාසල් වෙත පැමිණ අමතර ඉගැන්වීමේ කටයුතු වල නිරත වෙමින් තමාගේ සියළුම සිසුන් එම විෂයෙන් සමත් කර ගැනීමට උපරිම වෙහෙසක් ගනු ලැබුවා.මේ ආකාරයෙන් උපක්‍රමිකව ගුරුවරුන් තුල ඇතිකරන ලද තරගකාරිත්වය හේතුවෙන් විභාග ප්‍රතිපල වල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමට පටන් ගත්තා. එමෙන්ම ගුරුවරුන් විසින් ලබාදෙන ප්‍රතිපල ඇගයීමට ලක්කරමින් සම්මාන ප්‍රදානය කිරීම ආරම්භ කලා. ඒ අනුව කලාප, පළාත්  මට්ටමින් එක් එක් විෂයන් සදහා ඇගයීම් සම්මාන ප්‍රදානය කලා. මේ ආකාරයෙන් තමාගේ සේවය ඇගයීමට ලක් කරද්දී දකුණේ ගුරුවරුන් තම රාජකාරි සීමාවට එහා ගොස් සිසුදරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් කරන බව පෙනිගියා.


දුෂ්කර ප්‍රදේශවල ගුරු ඌනතාවය සම්පුර්ණයෙන් විසදීම සදහා වසර ගණනාවක් යනබව ඇමතිතුමා විසින් හොදින් වටහාගෙන තිබුනා. එයට හේතු වුයේ එම දුෂ්කර ප්‍රදේශවලින් ගුරුසේවය සදහා අවශ්‍යකරන උපාධිධාරීන් බිහි නොවීමයි. එම ප්‍රදේශවල අනාදිමත් කාලයක සිට අඛණ්ඩව පැවති ගුරුහිගය නිසාම මෙම  තත්වයට උදා වූ බව බව ඕනෑම තරාතිරමක කෙනෙකුට වූවද පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවුනා. මෙය හරියට දරිද්‍රතාවයේ විෂම චක්‍රය වගේ යැයි රාසපුත්‍ර මහතා නිතරම පැවසුවා . කෙලෙසක හෝ එය තමා විසින් බිදහෙලන බවත් ඔහු ප්‍රකාශ කලා.අඩුපහසුකම් වලින් පිරි දුෂ්කර ප්‍රදේශවල ගුරුවරුන් නේවාසිකව සිටින ආකාරය දැක එතුමා කම්පාවට ලක්වූ අවස්ථා මා දැක තිබෙනවා. ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ පාසල් නිරීක්ෂණයක් සදහා ගිය එතුමා පිරිමි ගුරුවරුන්ගේ ගුරු නිවාසය වෙත ගොස් එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව හය දෙනෙකු පමණ එම අඩු පහසුකම් සහිත කාමරයේ සිටින්නේ කෙලෙසක දැයි විමසුවා. ඇතැම් වතු ආශ්‍රිත පාසල් සදහා නාගරික ප්‍රදේශවල සිට යොමු කරන නවක ගුරුවරියන් සදහා සුදුසු නවාතැන් පහසුකම් සපයන්නේ කෙසේද යන්න නිතරම විමසා සිටියා. ඒ මන්ද යත් එම ප්‍රදේශවල පවතින නිවාසවල තත්වය එතුමා සියැසින් දැක ඇති නිසාවෙනි.  ඒ අනුව එතුමා දුෂ්කර ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ගුරැ නිවස සංකීර්ණ කිහිපයක් ඉදිකිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරනු ලැබුවා. එම ගුරුනිවාස සංකීර්ණයේ සිට අදාල ප්‍රදේශයේ ඕනෑම දුෂ්කර පාසැලක් වෙත ලංවීමට හැකි පරිදි අඩු පොලි අනුපාත හෝ පොලිරහිත ණය ක්‍රමයකට යතුරුපැදි ලබාදීමටත් යෝජනා කලා. මෙම ගුරුනිවස සංකීර්ණ අනාගතයේ එම ප්‍රදේශවල ගුරු ඌනතාවය අවසන් කිරීමෙන් පසුව නේවාසික ගුරුපුහුණු මධ්‍යස්ථාන බවට පත් කිර්මට යෝජනා කර තිබුනා. එහෙත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකිවුනා. නමුත් ඔහු දකුණේ අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් ගැටළු හදුනාගැනීම හා එයට යෙදීමට සැලසුම් කරනලද විසදුම් අතර මෙම යෝජනාව ඉතා සුවිශේෂී උනා. 


පාසල් සිසුන් සදහා විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට කටයුතු කලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සදහා ජයසංක නමින් නව  වැඩසටහනක් 2010 වසරේ ආරම්භ කිරීමට මෙතුමා කටයුතු කලා. අධ්‍යාපන පද්ධතියේ  හා බාහිරින් මානව සම්පත් එක් තැන්කොට ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන්ද උපදේශන වැඩසටහනක් ක්‍රියත්මක කලා. අනුමාන ප්‍රශ්නපත්‍ර , ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන් මෙන්ම දකුණු පළාත් අධ්‍යාපන ඉතිහාසයේ පළමු වරට බහුමාධ්‍ය උපකාරයෙන් සියළුම සිසුදරුවන් සදහා සම්මන්ත්‍රණ මෙහෙයවීමට කටයුතු කලා.අනාවරණ පරීක්ෂණ මගින් දරුවන්ගේ ඌන විෂය කොටස් හදුනාගෙන ඒ සදහා විශේෂ වැඩසටහනක් සකස්කලා. ප්‍රාථමික ගුරුවරුන් සදහා විශේෂ කෙටිකාලීන පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවුවා. එමගින් ප්‍රථමික ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලින කරනු ලැබුවා. මේ සදහා පළාතේ ප්‍රාථමික විෂය අධ්‍යක්ෂවරුන් හා ගුරු උපදේශකවරුන් විශාල කාර්ය භාරක් ඉටුකරනු ලැබුවා. මෙම කාල සීමාව තුල රාසපුත්‍ර මහතාගේ කාලයෙන් වැඩිකොටසක් ගතවුයේ අදාල වැඩසටහන් නිරීක්ෂණය හා උපදෙස් ලබා දීමටයි. මෙතුමා විසින් සුවිශේෂී දක්ෂතා සපිරි අධ්‍යක්ෂවරුන් , ගුරුඋපදේශකවරුන් , ගුරුවරුන්  හා නිලධාරීන් හදුනාගෙන ඔවුන් සමග අදාල රාජකාරියට සම්බන්දව  සෘජුව සන්නිවේදන කටයුතු සිදුකලා. ඇතැම් ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන් ඔවුන්ගේ පෞද්ගලික කටයුතු පසෙක තබා දිවා රාත්‍රී නොබලා මෙම කාර්යය සදහා එක්වුණා. ඇතැම්විට කිසිදු දීමනාවක් නොලබා මෙම කාර්යය සාර්ථකව ඉටුකරන්න ඔවුන් කටයුතු කලා. ඒ හැම දෙනාම කිව්වේ "ඇමතිතුමා මේක හදන්න ගන්න උත්සාහය අවංකව අපට තේරෙනවා , ඒ නිසා අපිට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා" යනුවෙනි. 

අ.පො.ස. (සා.පෙ) සදහා සිසුතරණ වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.  එයට දෙමාපියන් සදහා "තම දරුවන් විභාගයට සුදානම් කලයුත්තේ කෙසේද" යනුවෙන් උපදේශන වැඩමුළුවක්  අන්තර්ගත කලා. පළාත් හා කලාප මට්ටමින් විෂය අධ්‍යක්ෂවරුන් , විදුහල්පතිවරුන් කැදවා ඔවුන්ගේ විෂය හා ප්‍රතිපල නැංවීමේ සැලැස්ම පරික්ෂා කර ඊට අදාල ඉලක්ක වෙන වෙනම ලබා දීමට කටයුතු කලා. ඇමතිතුමා විසින් දකුණු පළාතේ දහසකට අධික වූ පාසල් වල විදුහල්පතිවරුන් සියළුදෙනා සමග වෙන වෙනම කතාකර ඉලක්ක ලබා දීමට කටයුතු කලා. ඒ අනුව තම පාසලේ ප්‍රතිපල පොරොන්දුවූ ඉලක්කය වෙත රැගෙන යාමට කටයුතු කිරීමට විදුහල්පති වරුන්ට සිදුවුනා. විෂය අධ්‍යක්ෂවරුන් , ගුරු උපදේශකවරුන් හරහා විෂය ඉගැන්වීමේ ගුරුවරුන් වෙත අදාල ඉලක්ක ලබා දීම සිදුකලා. සිසුදරුවන් සදහා ඉගෙනුම් උපකාරක සකස්කිරීම ,අනුමාන හා ආදර්ශ ප්‍රශ්නපත්‍ර ලබාදීම මෙහි සුවිශේෂි කටයුක්තක් උනා.

මීට අමතරව රාසපුත්‍ර මහතා විසින් පාසල් වෙත නිරීක්ෂණ කටයුතු සදහා නිතරම පැමිණියා. එතුමා විසින් විභාග ප්‍රතිපල විශ්ලේෂණ උපයෝගී කර ගනිමින් අඩු සාධන මට්ටමක් සහිත පාසල් වෙත ගොස් එහි අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීම සාමාන්‍ය දින චර්යාවේ කොටසක් කරගෙන තිබුනා. එහිදී අඩු පැමිණීමක් තිබු සිසුන්ගේ තොරතුරු අධික්ෂණයට ලක් කරා. ඇතැම් අවස්ථාවල එම දරුවන්ගේ  දෙමාපියන් මුණ ගැසීමට නිවෙස් වලට පවා යන්නට කටයුතු කලා. මාතර ගරඩුව ප්‍රදේශයේ නිවසකට යන අවස්ථාවක මා ද එතුමා සමග ගියා. දෙමාපියන්ට තම දරුවා පාසලට එවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ආර්ථික දුෂ්කරතා නිසා පාසල් හැරයන දරුවන් පාසල් වෙත ගෙන්වා ගැනීමට  කිසියම් හෝ වැඩපිළිවෙලක් සකස්කළ යුතු බවට එතුමා නිතරම පැවසුවා. ඒ අනුව අඩු ආදායම්ලාභී දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන්න එතුමාට හැකි උනා.

අධ්‍යාපන කටයුතු දුර්වල සිසුන් සදහා විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට මෙතුමාට අවශ්‍ය උනා. දකුණේ ප්‍රතිපල ඉහලට නැංවීමට නම් අසමත්වන සිසුන් සංඛ්‍යාව අවම කල යුතු බවට එතුමා තේරුම්ගෙන තිබුනා.  ඒ සදහා උපාධිධාරී අභ්‍යාස ලාබින් පිරිසක් තෝරාගනු ලැබුවා. විශේෂ පුහුණුවකින් සැදුම්ලත් එම පිරිස දුෂ්කර වූ ප්‍රදේශවල නේවාසිකව සිටිමින් පාසල් වේලාවෙන් පසුවද තම රාජකාරි කටයුතු මනාව ඉටුකලා. එහි ප්‍රතිපල අපට දෑස් ඉදිරිපිට පෙනෙන්නට වුනා. අ.පො.ස.(ස.පෙ) විභාගයෙන් අසමත්ව සමාජයේ කොන් වන්නට ගිය සිසු පිරිසක් විභාග සමතුන් බවට පත් වුයේ දකුණේ සමත් ප්‍රතිශතය තවත් ඉහල නංවමින් බව පෙනිගියා.     


රාසපුත්‍ර මහතා විසින්  විභාග ප්‍රතිපල නිකුත්වූ වහාම දුරකථනය මගින් සියළුම පාසල්වල ප්‍රතිපල ලබාගෙන වාර්තාවක් සකස්කරන්නේ  විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිපල විශ්ලේෂණය නිකුත්කිරීමටත් පෙරය. එතරම් උනන්දුවක් එතුමාට තිබුනා. ඉන්පසුව සිදු කරන්නේ අනෙක් පළාත් සමග දකුණේ ප්‍රතිපල සංසන්දනය කර විශ්ලේෂණය කිරීමයි. එමෙන්ම පාසල් හා කලාප විසින් ලබාදී දුන් ඉලක්ක හා ලබාගත් ප්‍රතිපල සංසන්දනය කිරීමයි. එහිදී එම ඉලක්ක සපුරන්න නොහැකි වූ නිලධාරීන්ට   නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට සිදු උනා. මේ නිසා  සියළුදෙනාම තම විභාගප්‍රතිපල ඉලක්ක සපුරන්න වෙහෙසෙන ආකාරය දකින්නට ලැබුනා.

පාසල්වල භෞතික පහසුකම් නංවන්න මෙතුමා විශාල කාර්යභාරයක් ඉටුකලා . 2010 වසරේ අමාත්‍යධුරයට පත්වූ වහාම සිදුකලේ දකුණු පළාතේ පොල් අතු හා ටකරන් හෙවිලි කර ඇති වහලවල් සහිත පාසල් ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි ලබාදීමයි. නමුත් එතුමා නිතරම පවසන ලද්දේ පළාතේ අධ්‍යාපනය ඉහල නැංවීමට නම් භෞතික සම්පත් සංවර්ධනයට වඩා මානව සම්පත් ලබා දිය යුතු බවයි. ලුණුගම්වෙහෙර කෙලවරේ පාසලක නව ගොඩනැගිල්ලක් ලබා දීමට වඩා වැදගත් වන්නේ ඉගෙන්විම සදහා අවශ්‍ය ගුරුවරුන් ලබාදීම බවයි.